Blog

කිසිවෙකුට බහුතරය නැති පළාත්පාලන ආයතනයන්හී බලය ඇල්ලීමේ විපක්ෂ මෙහෙයුම වැරදුනේ ඇයි?

24-Jun-2025

පසුගියදා අවසන්වූ පළාත්පාලන මැතිවරණය 2025 ප්‍රතිඵල නිකුත් වීමත් සමග දැකගත හැකි වූයේ පළාත්පාලන ආයතන වැඩි ප්‍රමාණයක සරළ බහුතර මන්ත්‍රීධූර දිනාගැනීමට පාලක මාලිමා රජයට නොහැකිවී ඇති බවයි. එහිදී නැවත නැවතත් පෙන්නුම්කරන කාරණයක් වන්නේ පසුගිය යහපාලන රජය විසින් පළාත්පාලන ආයතනයන් වෙනුවෙන් ගෙන එන ලද කොට්ඨාස සමානුපාතික මිශ්‍ර මැතිවරණ ක්‍රමය හේතුවෙන් යම්කිසි පළාත්පාලන ආයතනයක  බහුතර ජන්ද ලබාගන්නා හෝ බහුතර කොට්ඨාස ප්‍රමාණයක් ජයග්‍රහණය කරනු ලබන පක්ෂයට / ස්වාධීන කණ්ඩායමට සභාවේ බහුතර මන්ත්‍රී ධූර නොලැබෙන අවස්ථා පැවතීමයි.

 

එමගින්, ඒ ඒ සභාවන්හි සභාපතිවරයා / නගරාධිපතිවරයා තෝරාගැනීමට අදාල සමස්ථ සභාවේ බහුතර ජන්ද ලබාගන්නා හෝ බහුතර කොට්ඨාස ජයග්‍රහණය කරනා කණ්ඩායමට නොහැකිවී යෑම මෙහිදී සිදුවේ. මෙය පසු අර්බුධ රාශියක් ඇතිකරන්නකි. මෙම නව ජන්ද ක්‍රමය මගින් සිදුවූ තවත් වෙනසක් වන්නේ ඒ ඒ සභාවන්හී පැවති සමස්ථ මන්ත්‍රීධූර සංඛ්‍යාවද දෙගුණයකින් පමණ වැඩිවීමයි. එමෙන්ම කුඩා කුඩා පක්ෂ හා ස්වාධීන කණ්ඩාය්ම් වෙත මන්ත්‍රී ධූර සුළු සුළු ගණන් බෙදී යෑමද මෙම නව ක්‍රමය හරහා සිදුවේ.

 

ඉහත කාරනා හේතුවෙන් මෙතෙක් පැවති සාම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ බලය හොබවන පාර්ශවයට අති බහුතර පළාත්පාලන ආයතනයන්හි බලය ලැබුනත් (ප්‍රාදේශීය වශයෙන් හා ජන අනුපාතය අනුව බලය හිමිවන සභා හැර) මෙම නව ක්‍රමය හරහා ආණ්ඩු පක්ෂයට සභා පිහිටුවීම අපහසු වී ඇත. එසේම විවිධ මතවාද දරන විවිධ පක්ෂ හා ස්වාධීන කණඩා‍යම් වෙත විපක්ෂයේ මන්ත්‍රීධූර බෙදීයෑම නිසා බහුතර මන්ත්‍රීධූර විපක්ෂ කණ්ඩායම සතු වුවද විපක්ෂයටද එකමුතුව එක මතයකට පැමිණ විපක්ෂය නියෝජනය කරන සභාපතිවරයෙක් / නගරාධිපතිවරයෙන් පත්කරගැනීම අභියෝගයකි.

 

එසේම මුළු රටම ආවරණය කරමින් සමස්ත සභා වෙනුවෙන් හෝ බහුතරයක් වෙනුවෙන් ප්‍රධාන පක්ෂ හතරක් හෝ පහක් පමණ ඉදිරිපත් වුවත් අනෙකුත් මන්ත්‍රීධූර බෙදීගිය කුඩා පක්ෂ හා ස්වාධීන කන්ඩායම් සභාවෙන් සභාවට විවිධ වීම (ප්‍රාදේශීය වශයෙන් සභාවකට හෝ කිහිපයකට පමණක් ඉදිරිපත්වන කණ්ඩායම්) හේතුවෙන් සාකච්ජාවෙන් එකගතාවයන්ට පැමිණීමට අපහසු හා ප්‍රායෝගික හැකියාවක් නැත. ඒ අනුව විපක්ෂය බහුතරය නියෝජනය වන සභාවන්හී පවා සභාවේ මන්ත්‍රීධූර පකෂ හා ස්වාධීන කණ්ඩායම් විශාල සංඛ්‍යාවක් අතර බෙදී යෑම නිසා විපක්ෂයෙන් සභාපතිවරෙයෙක් / නගරාධිපතිවරයෙක් යෝජනා කිරීමේදී අදාල සභාපති / නගරාධිපති කුමන විපක්ෂ කණ්ඩායමෙන් තෝරාගන්නවාද යන්නට එකගතාවයකට පැමිණීමට නොහැකි වීමද ආණ්ඩුපක්ෂයට අමතර වාසියකි.

 

මෙසේ විපක්ෂ කණ්ඩායම නියෝජනය කිරීමට ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයන්ට වැඩි අවස්ථා ලැබුනත් ඔවුන්ට නිසි නායකත්වයක් හෝ පක්ෂයක් නොමැතිවීම නිසා විවිධ වරදාන වරප්‍රසාවලට ආණ්ඩු පක්ෂය විසින් ඒ අයව විවිධ වරදාන වරප්‍රසාද තනතුරු වෙනුවෙන් තම පැත්තට පහසුවෙන් නම්මවා ගැනීමට හැකිවීම විපක්ෂයට එක්ව සභාපතිවරු / නගරාධිපතිවරු තෝරාගැනීම තවත් අපහසු වී ඇත. එසේම සභාපතිවරු / නගරාධිපතිවරු තෝරාගැනීමේදී රහස් ජන්දයක් විමසීම මගින් එම දූෂිත ක්‍රියාවලියට තවත් තල්ලුවක් ලැබී තිබේ. එසේ වරදාන වරප්‍රසාද වලට තම ජනතා බලය පාවාදෙන මන්ත්‍රීවරු කවුරුන්දැයි ජනතාවට හෙළිදරව් නොවීම හා ඉන් අනතුරුව මෙසේ පක්ෂයට එරෙහිව යන මන්ත්‍රීවරයා / මන්ත්‍රීවරුන්ට පක්ෂයෙන් එල්ලවිය හැකි ගැටළු මගහැරීම මෙහි ප්‍රධාන අරමුණු ය. එමගින් විපක්ෂ කණ්ඩායම් අතර සැකසංකා මතුවන අතර තව තවත් බෙදී වෙන්වීම සිදුවේ.

 

මේ ආකාරයෙන් බලන කළ බැලු බැල්මට විපක්ෂයට බහුතර හිමිවන සභාවන්හී පවා විපක්ෂයට බලය තහවුරු කරගැනීම විශාල අභියෝගයක් වී ඇති අතර. ඉහත ප්‍රායෝගික හා තාක්ෂණික අපහසුතා උපයෝගී කරගනිමින් හා ආණ්ඩු බලය යොදාගනිමින් සභාවන්හී බලය පිහිටවූවා කියා ආණ්ඩුවට උදම් ඇනීමට එය කාරණයක් නොවන්නේ, රටේ ප්‍රකාශිත ජන්ද ප්‍රමාණයෙන් 50% ලබාගැනීමට පාලක ආණ්ඩුවකට, විශේෂයෙන්ම නවමු ආණ්ඩුවකට, එසේම විධායක ජනාධිපතිවරයෙක් හා 2/3 ක බලයක් සහිත ආණ්ඩුවකට නොහැකිවීම යනු ආණ්ඩුව කෙරෙහි ජනතාවගේ විශ්වාසය පිළිබද පැහැදිළි ගැටළුවක් පවතින බවට ප්‍රබල සංඥාවක් වීමයි.

 

ඒ අනුව විපක්ෂයට සභා පිහිටුවීමට නොහැකිවීමේ අවුල පිළිබදව එක් පක්ෂයකට හෝ නායකයකුට සමස්ථ වගකීම හා චෝදනාව එල්ලවනවානම්, ඒ මේ බිමේ යතාර්ථය නොදන්නාකම හෝ දැන දැනම අර්බුධයෙන් දේශපාලන වාසි ලබාගැනීමේ අසාර්ථක උත්සාහක් පමණි.

Join team Sarvajana Balaya Party

Personal Details